Thursday, July 29, 2010

ගොළු වූ ප්‍රේමය...........


නුඹ වෙත බැඳි පෙමින් පිපි කුසුමන් පුදදී

මා හද ඔබේ පා මුල දැහැනක කිමිදී

මැළවෙන මල් දම ට සෙනෙහස් පිණි අයදී

නුඹ කෝ කොතැනක ද තවමත් ඇයි ද නිදී.....



හදවත රැඳුනු ඉමිහිරි සිහිනෙක සුවඳ

සැළෙන සුසුමකට පිසදාහල හැකිද

නෙත මත මවා නුඹෙ හසරැළි මන නන්ද

සනසනු මැනවි තුන් යම ඉකිලන මහද............


ඉම නොපෙනෙනා හිස් අහසේ නෙතු නැවතී

ගිණිගත් හදින් රහසේ සුසුමන් සැලෙතී

සිරගත කෙරූ හදවත මොහොතක් නැවතී

නුඹ රැඳි සොඳුරු සිතිවිලි සටහන් සොයතී...........

Thursday, July 22, 2010

පිය සෙනෙහස..........


කිසිදාක නොසැලෙනා
වැව් ඉවුරු බඳ ලෙසේ
දිවි මගේ බර දරන
සෙනෙහෙබර පියානනේ...........
නුඹේ උර පතු මතින්
උහුලනා දිවියෙ බර
මේ වැවේ රැළි නගන
දියවරට වඩා වැඩි............

නොනංවා දළ රැළිති
නිසසළව රැව් නගන
ගැඹුරු වෑ දිය තිල්ල
පරදවයි පියානනි................
නුඹේ හදවත් විලේ
නිබඳ පිය සෙනෙහෙ දිය
වෑහෙනා උල්පතින්
උනන පිතු පෙම් දහර............

කෙත් පුරා හිස නගන
නිල් ගොයම ඇහැරවා
පන පොවන දියවරත්
දෙවැනි වෙයි පියානනි.................
ගත නැගුනු දහදියට
දරු සෙනෙහෙ කැටි වු සඳ
ලොවම අස්වද්දන්න
උපන් රන් දියවරට...........

Tuesday, July 20, 2010

"තෙල්මාව" ගේ ගීතය


සදා නොමැකෙන අද්භූත වූ
හිරුට ප්‍රේම කල මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
රූපයේ නාමයට නම්.................

සෑම වසරකම නැවුම් වී එන
වසන්තයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
තරුණ්‍යයේ නාමයට නම්.............

තෙරක් නොපෙනෙන විශ්මිත වූ
සාගරයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නෙය් මගේ
වස්තුවේ නාමයට නම්............

හිරු, වසන්තය, සයුරට වඩා
විශ්වසවත් මගෙ හදවත දෙමි
ඔබ මට ප්‍රේම කරන්නේ
ප්‍රේමයේ නාමයෙන් නම්..................

ජනප්‍රිය කතුවරියක වූ මාරි කොරැලි ගේ "තෙල්මා" නම් කෘතියෙහි එන
පැදි පෙළක් ඇසුරෙනි

Sunday, July 18, 2010

මවුනි නුඹ දෙවඟනකි...........


ලොව පුබුදන්නට රන්වන් අරුනළු
දහරින් මිහිකත සනසවනා...........
රන් හිරු මඩලයි ඔබ මගෙ ලෝකය
සෙනෙහස් දහරින් සතපවනා............

ගණඳුර දැවටුණු රෑ ගුවන් ගැබේ
දිදුලන රන් පුර හඳ සේමා.........
මවුනි, නුඹයි මගෙ විජිතය සරසන
කසුන් ප්‍රදීපය නිති දිලෙනා...............

පවස නිවන සිහිලැල් ගඟුලක් සේ
දිවි ගමනේ සරතැස නිවනා..............
මවුනි නුඹේ පෙම් ගඟූලේ දියවර
මා සතපයි සුවයෙන් සොඳිනා............

අමා බිඳක් වන් අදරැති වදනින්
හද සෝ දුක් සංකා නිවනා...........
මා හද දෙවොලේ දෙවඟන නුඹවේ..........
දෙව් පුරයෙන් පරසතු පුදනා..................

Tuesday, July 13, 2010

සමුදුරකි නුඹ


සමුදුරකි නුඹ
මගේ දිවියට ජීවය ගෙනෙන........
මට සිතේ නොයෙක් වර
විටෙක සුදු පෙණ පබළු
නංවමින් සිනාසෙන
සයුර නුඹ වගේ මැයි..................

නීල පට පිළි පැළැඳ
නිසසලව වැතිර නිදන කල
සයුරක් කෙතරම් අහිංසකද
නුඹ තරම් අවිහිංසකයි..............
නුඹ තරම් පිවිතුරුයි.............
නුඹ තරම් සුන්දරයි.........

හමන සැඩ මාරුතේ වෙලීලා
සයුරු දිය කෝපයෙන් කළඹා
රුදුරු වෙස් ගෙන ලොව නසන්නට
සැරසෙන කළ සමුදුරද
නුඹ සේම ප්‍රචන්ඩයි.............
නුඹ සේම කළබලයි.................
නුබ සේම බියකරුයි.............

Monday, July 5, 2010

අමාවක වූ පුන්සඳ


නිමල් හද විලේ පිපි ඉඳුවරයාණ
සුනිල් මහද දියඹේ රණ තිසරාණ
සිසිල් සිළිලාර හද ඉසි කිඳුරාණ
ලිහිල් වී ඇයි ද හද බැමි සුහදාණ

බවුන් වඩන හද අසපුව මුනිදාණ
පිනින් මහද දෙවොළට වැඩි සුරිදාණ
බැතින් පෙම් කුසුම් පුද දුන් සමිදාණ
ඉතින් කිම් ද වූ දොස හද රජිදාණ

සුහද තෙපුල් සවනත වෙලු කොවුළාණ
පබැඳි සිතුම් පදරුත් කල කිවිදාණ
මහද අඳුන් කුළ සසැළු ගිජිදාණ
කිම ද අමාවක වී පුන් සඳපාණ