Sunday, December 12, 2010


¾è÷å ªº Éê °åºèÆ¨à ¡Ãéº Éê ÌèÍ ¾å¼ïÆ¾à ¡É¼ú ¨È ¡—ß ¡¾à½¨åÇïÆà ªèÈé Íê¾à ï¼àÊÆ¨à ¸æ¾ À;à ÌèÝïÉ¾à ¦¨õ ¨È ïªðÇɸýÆ Àì°ñ Àå¼ ïÌåàÄ ÌàÉåä¾à÷ƾà É;àïÌà´ ¤ÀÍåÇƨàÄ ïŒÉå.........!!!


හෙළ බොදු සසුන් විල
සීල සුවදින් පොබ කල
ඉඳුවරය සුනිමල
මිළිණ විය පාපයට තුන් හෙළ.........


අමරසැති දම් පද
කුළුණින් දෙසූ හිමි සඳ
අවිඳු තිර දන හද
ඉරා හලු කර දැමූ රිවිරද...............

සිහළ දැය නිදි වැද
හුන් අවදියක සිහනද
නගා සිහළුන් හද
පුබුදු කල තෙද බලැති සිහරද.............

ගලනා සෝක ගඟුලෙන්
නහවා දැයම කඳුලෙන්
බුදු පුතුනි මෙළෙසින්
කිමද මොක්පුර වැඩියේ විගසින්..........

Monday, September 20, 2010

........බලා සිටීම.........

සිහිනයෙන් පමනක් ඔබ වෙතට එන්නම්
දුක් සුසුම් රළු වැඩි උනත් විඳ ගන්නම්
හෙට දිනෙත් නුඹ හීනයක් නොම වේනම්
සිත පතුම් පුරවා මග බලා ඉන්නම්............

නෙතු පියන් දල්වා මා දකින සිහිනේ
නරනිඳු නුඹයි මගෙ ස්නේහයේ විජිතේ
ඒ සිහින සිතුවම බොඳ නොකොට දෙනෙතේ
නිරිඳ වනු මැන මහද පෙම් අරණේ................

මල් කකුළ නුඹ අතු අගිස්සේ පිපුණු
මා පිණි පොදයි තණ පළස මත රැඳුණු
දුර බොහො වුවත් ඔබ මා වෙතට ඉගිලී
එන තුරා ඉන්නම් නටු අගට සමු දී.........

Saturday, September 18, 2010

නැති වු කව...............


ඔහු මට අහිමි වූ දා......
විරහ ගිණි දළු බුර බුරා නැගෙද්දී
ඉකිගසා වැළපෙමින්
ජනිත කළෙමි බිළිඳු කවක්
තැලී පොඩි වී ගිය
කඩදාසියක් මත්තෙහි..........

අහෝ.......කොහිද ඒ සිඟිති කව
කොහේ අතරමං වූවා ද
සුළං රැල්ලක එතී
ඈතකට ගියා වද..........
කුණු කූඩයක රැදී
මා අතැර ගියා වද.........

අදරැති ළපටි කව
නුඹ මා වෙතින් පිටමංව ඇත
සමාවුව මැන මට..........
බොළඳ වූ නුඹ ගැන
සැළකිලිමත් නොවූවාට..............

Thursday, September 16, 2010

ඇසළ සඳ

ඇසළ සඳ මල්වරව

නිළඹරට වැඩමවන

සොඳුරුතම සුයාමය එළඹිලා...............

රුවන් තරු පහන් එළි ගගණතේ දල්වලා

සුමුදු සේපාලිකා මල් පළස් අතුරලා

තුටු කඳුළු පිණි දියෙන් ලෝ තළය නහවලා

ඇසළ මල්වර උළෙල මේ රැයේ ඇරඹ්ලා............

නිශාචර සියොත් ගී තාළයට පා තබා

කණමැදිරි රෑන් විත් දක්වතියි රඟ සොබා

පින් සපිරි කසුන් වන් සඳ පහන්සිළු පබා

බබළවයි සඳ දියණි ඇසළ සැණකෙළි සබා..........

Wednesday, September 15, 2010

මැකී යනු මතකෙන්........


සිත් ඉමේ ගැඹුරුතම ඉසව්වක සැඟවෙලා
නිදන ඔබ හද වෙතට එබි කල් යල් බලා
නිසළ සිත් ගැඹර රැඳි හැඟුම් පොදි කළඹවා
දවාලයි හදවතම සෝක ගිණි දැල් මවා.......

රුදුරු වූ හිරු රැසින් දැවෙන වාළුකාවක
මංමුළා වූ මුවක නෙත ඇදුනු මිරිඟු දිය
ලෙසින් මා හහ විමනෙ පැතුම් සිතුවම් මවා
සැඟව ගිය මායාව නුඹයි හදවත දවා..........

පුදා කඳුළැලි කුසුම් නීල දෙනයන පිපෙන
හෙලා හද සුවඳ ගැවසූ සුසුම් මද පවන
දොවා නෙත් දියරයෙන් හද දෙවොල පුද අසුන
යදින්නම් පලා යනු තව නොදී දුක් කඳුළ.......

Thursday, September 9, 2010

අල්තිනායි නුඹ කොහෙද?


ගිණි වැදුණු රන් හිරු මඩළ

තණබිම දවා සැඟව යන රඟ.....

බලා හිඳිමි මම තවම මේ අයිලයේ තනිව......

විසල් පොප්ලරයට පිට දී..........

නුඹ නේන බව දැන දැනම

නුඹ නැවත එතියි සිත සිතා

නෙතුපියන් නොසළාම............

බලා හිඳිමි එදා සිට අද තෙක්ම මේ අයිලයේ තනිව......

විසල් පොප්ලරයට පිට දී..........

විසල් ලෝකයට මිස නුඹ මේ අයිලයට

අහිමි බව දනිමි මම.........

ඒනමුදු පෙර සේම බලා හිඳිමි

පොප්ලර් තුරු පි‍යස යට

නුඹ නේන බව දැන දැනම...........

Saturday, September 4, 2010

......සොඳුරියේ........




පහණ කෝ ගෙයි සාලයේ......
දැල්වෙලා රන් සිළුමිණ ලෙසේ........
දිවි මංපෙතේ ගණඳුර නිවාළු....
හස කැළුම් සිළ කෝ නුඹේ........

දුක් සෝ තැවුල් හදවත වෙළී.....
පෙළන සඳ සිත සැළි සැළී......
නුඹේ සුපෙම්වත් සිනහා රැළී......
සිඳළුවා නෙත කඳුළැලී.....

වියැකි හස සිළ සඳ වතේ....
පෙරමග බලයි කඳුළක් නෙතේ....
ඇත ද වරදක් මා අතේ......
සිනහසෙනු මැන සොඳුරියේ..........

Saturday, August 28, 2010

වසන් වී රුපු ඇසට - එන්න පැල්පත වෙතට


සිව්දෙසින් ගලා එන ගනඳුරට ඉඩ තියා
අවරගිර ගිණිතියන් හිරුමඩළ බැස ගියා
වැඩ මුරය අහවරව පාළු මග එන නිසා
නුඹේ තනි නොතනියට තරු ඇසක් දිලිසුනා........

මලානික එළිතිතට මග පහන්කණු මවන
විටින් විට රාව නංවන රැහැයි ගී හඬට
හුදකලා නුඹේ හිත දවාලන භීතියට
සැනසුමක් වී හැකිද නුඹේ හිත නිවන්නට........

බොඳව ගිය සරා සඳ කළු වලාවක සැඟව
සරදමට මෙන් සිනාසේ නුඹේ තනි කමට
මග දිගට ඉවකරන ගොර සපුන් ගේ නෙතට
හසු නොවී වහ වහා එන්න පැල්පත වෙතට...........

Thursday, July 29, 2010

ගොළු වූ ප්‍රේමය...........


නුඹ වෙත බැඳි පෙමින් පිපි කුසුමන් පුදදී

මා හද ඔබේ පා මුල දැහැනක කිමිදී

මැළවෙන මල් දම ට සෙනෙහස් පිණි අයදී

නුඹ කෝ කොතැනක ද තවමත් ඇයි ද නිදී.....



හදවත රැඳුනු ඉමිහිරි සිහිනෙක සුවඳ

සැළෙන සුසුමකට පිසදාහල හැකිද

නෙත මත මවා නුඹෙ හසරැළි මන නන්ද

සනසනු මැනවි තුන් යම ඉකිලන මහද............


ඉම නොපෙනෙනා හිස් අහසේ නෙතු නැවතී

ගිණිගත් හදින් රහසේ සුසුමන් සැලෙතී

සිරගත කෙරූ හදවත මොහොතක් නැවතී

නුඹ රැඳි සොඳුරු සිතිවිලි සටහන් සොයතී...........

Thursday, July 22, 2010

පිය සෙනෙහස..........


කිසිදාක නොසැලෙනා
වැව් ඉවුරු බඳ ලෙසේ
දිවි මගේ බර දරන
සෙනෙහෙබර පියානනේ...........
නුඹේ උර පතු මතින්
උහුලනා දිවියෙ බර
මේ වැවේ රැළි නගන
දියවරට වඩා වැඩි............

නොනංවා දළ රැළිති
නිසසළව රැව් නගන
ගැඹුරු වෑ දිය තිල්ල
පරදවයි පියානනි................
නුඹේ හදවත් විලේ
නිබඳ පිය සෙනෙහෙ දිය
වෑහෙනා උල්පතින්
උනන පිතු පෙම් දහර............

කෙත් පුරා හිස නගන
නිල් ගොයම ඇහැරවා
පන පොවන දියවරත්
දෙවැනි වෙයි පියානනි.................
ගත නැගුනු දහදියට
දරු සෙනෙහෙ කැටි වු සඳ
ලොවම අස්වද්දන්න
උපන් රන් දියවරට...........

Tuesday, July 20, 2010

"තෙල්මාව" ගේ ගීතය


සදා නොමැකෙන අද්භූත වූ
හිරුට ප්‍රේම කල මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
රූපයේ නාමයට නම්.................

සෑම වසරකම නැවුම් වී එන
වසන්තයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නේ මගේ
තරුණ්‍යයේ නාමයට නම්.............

තෙරක් නොපෙනෙන විශ්මිත වූ
සාගරයට ප්‍රේම කරනු මැන
ඔබ ප්‍රේම කරන්නෙය් මගේ
වස්තුවේ නාමයට නම්............

හිරු, වසන්තය, සයුරට වඩා
විශ්වසවත් මගෙ හදවත දෙමි
ඔබ මට ප්‍රේම කරන්නේ
ප්‍රේමයේ නාමයෙන් නම්..................

ජනප්‍රිය කතුවරියක වූ මාරි කොරැලි ගේ "තෙල්මා" නම් කෘතියෙහි එන
පැදි පෙළක් ඇසුරෙනි

Sunday, July 18, 2010

මවුනි නුඹ දෙවඟනකි...........


ලොව පුබුදන්නට රන්වන් අරුනළු
දහරින් මිහිකත සනසවනා...........
රන් හිරු මඩලයි ඔබ මගෙ ලෝකය
සෙනෙහස් දහරින් සතපවනා............

ගණඳුර දැවටුණු රෑ ගුවන් ගැබේ
දිදුලන රන් පුර හඳ සේමා.........
මවුනි, නුඹයි මගෙ විජිතය සරසන
කසුන් ප්‍රදීපය නිති දිලෙනා...............

පවස නිවන සිහිලැල් ගඟුලක් සේ
දිවි ගමනේ සරතැස නිවනා..............
මවුනි නුඹේ පෙම් ගඟූලේ දියවර
මා සතපයි සුවයෙන් සොඳිනා............

අමා බිඳක් වන් අදරැති වදනින්
හද සෝ දුක් සංකා නිවනා...........
මා හද දෙවොලේ දෙවඟන නුඹවේ..........
දෙව් පුරයෙන් පරසතු පුදනා..................

Tuesday, July 13, 2010

සමුදුරකි නුඹ


සමුදුරකි නුඹ
මගේ දිවියට ජීවය ගෙනෙන........
මට සිතේ නොයෙක් වර
විටෙක සුදු පෙණ පබළු
නංවමින් සිනාසෙන
සයුර නුඹ වගේ මැයි..................

නීල පට පිළි පැළැඳ
නිසසලව වැතිර නිදන කල
සයුරක් කෙතරම් අහිංසකද
නුඹ තරම් අවිහිංසකයි..............
නුඹ තරම් පිවිතුරුයි.............
නුඹ තරම් සුන්දරයි.........

හමන සැඩ මාරුතේ වෙලීලා
සයුරු දිය කෝපයෙන් කළඹා
රුදුරු වෙස් ගෙන ලොව නසන්නට
සැරසෙන කළ සමුදුරද
නුඹ සේම ප්‍රචන්ඩයි.............
නුඹ සේම කළබලයි.................
නුබ සේම බියකරුයි.............

Monday, July 5, 2010

අමාවක වූ පුන්සඳ


නිමල් හද විලේ පිපි ඉඳුවරයාණ
සුනිල් මහද දියඹේ රණ තිසරාණ
සිසිල් සිළිලාර හද ඉසි කිඳුරාණ
ලිහිල් වී ඇයි ද හද බැමි සුහදාණ

බවුන් වඩන හද අසපුව මුනිදාණ
පිනින් මහද දෙවොළට වැඩි සුරිදාණ
බැතින් පෙම් කුසුම් පුද දුන් සමිදාණ
ඉතින් කිම් ද වූ දොස හද රජිදාණ

සුහද තෙපුල් සවනත වෙලු කොවුළාණ
පබැඳි සිතුම් පදරුත් කල කිවිදාණ
මහද අඳුන් කුළ සසැළු ගිජිදාණ
කිම ද අමාවක වී පුන් සඳපාණ

Monday, June 28, 2010

අයැදුම


හමායන මදනලේ මගෙ සුසුම් ගෙන යන්න
ඇදවැටෙන සිරිපොදට මගෙ කදුළු මුහුවන්න
හදේ දුක කවක් වී වළා මත ලියැවෙන්න
ඒ කවිය සියොතුනේ ගීතවත් කරවන්න...............

සුසුම් රළ නුඹ යන්න මද පවනෙ මුසුවෙලා
ඔහු වෙතට පාව ගොස් සවන් මත දැවටිලා
මගෙ හද සෙනෙහෙ කුටියේ සුවඳ තවරලා
පෙම් සිතක දුක් ගීය පවසන්න කොඳුරලා....................

සිරි සරින් කදුළු පිණි පොද වැස්ස වස්සවා
නහවන්න ඔහු ගතම සිසිළසින් සතපවා
හිත ගාව මතකයේ උණුහුමින් සනසවා
ඔහු හිතම ගෙන එන්න මගෙ හසරැල් මවා............

වළාවනි ඉතින් නුඹ ඔහු වෙතට පාවෙන්න
සියොතුනේ ගී සරින් හද රාව නංවන්න
ඔහු හදේ මතකයේ කවුළු දොර හැර දෙන්න
හද විමන රාජිණිය ලෙසින් මට පිවිසෙන්න.............

Saturday, June 26, 2010

දොරගුළු ලෑම


නුඹ මා හදවතට

පිවිසෙතැයි බියපත්ව

අගුළු ලෑවෙමි

හනි හනික

හදෙහි දොරගුළු

සොඳින්..............

නමුදු

අකීකරු වූ නුඹ

යතුරු සිදුරෙන් රිංගා විත්

පැළපදියම් ව ඇත

සිත් කුහරයේ

ගැඹුරුම ඉසව්වක

නැවත නොයෙනා ලෙසින්.................



Monday, June 21, 2010

ප්‍රාර්ථනාවක්..........


පා පහසින් විසිර යන
වැලි කැටයක් නොවී මා
නිල් ගගන අරා නැගි විසල් ගිරි ශිඛරයක් වී නම්............
සිසිල් සුව ලෙහි හොවා හමනා
මන්ඳ මාරුතය වූ නුඹ
වැළද ගන්නෙමි හද සෙනේහයෙන්
යළි ඈත් නොවන ලෙස..........

ඝණ අඳුරු නිශායම
රජ කරන ගණඳුරට
කණමැඳිරී එළි තිතක් නොවී මා...............
අහස් කුස සුදිලෙනා
සොළොස් කළ සපිරි පුර පස සදක් වී නම්.........
අඳුර මැද මුලා වී
පා නගන නුඹෙ දෙපා
සඳ දියෙන් දෝවලා
ගමන් මග කියා දි
සෙනෙහසින් රකින්නෙමි..............

උදා හිරු නැගෙන සඳ
තණ අගින් සිඳී යන
පිණිපොදක් නොවී මා.........
නිම් තෙරක් නොදක්නා
දළ රළින් ගිගුම් දෙන
නීල සමුදුරු ගැඹර වී නම්..........
නිමල ගංදියවරක් විලසින්
මා වෙතට සපැමිනෙන කල නුඹ
මුවදොර අබියස දෙනයන දල්වා
බලා හිදින්නෙමි සිඹ සනසන්නට................



Sunday, June 20, 2010

පුෂ්පෝපහාරය


ගම් මැද්දේ ඇවිද ගොස්
පුරවා හද බැතියෙන්
නෙලූයෙමි කූඩ පුරවා
සුදෝ සුදු මල්............

දොවා හද බැති දියෙන්
ගෙතූයෙමි මල් දම්...
පන්සලේ පිංකම් දිනේ
බුදු කුටිය සරසනු රිසින්........

නේක රටාවට ගෙතු මල් දම්
මල් වියන් කොට බුදු පියානණි
මලක් සේ පිරිසිදු සිතින් මම
පුදන්නට මග බලා සිටියෙමි.........

නිවී දැල්වෙන තාරුකා මෙන්
විසිතුරු විදුලි මල්දම්
ඒකාලෝක කරවයි
බුදු කුටිය මනරම්..........

පුදසුන මත පවා
දැල්වේ රක්ත පියුමන්
සුවදවත් නොවූවද
මුකුලිත නොවන කිසිදා..............

වියනක්ව වැජඹෙන්න
කුටිය තුල ඉඩ නොලත්
මා ගෙතූ මල්දම්
පිං මදව ඉකිලයි............

හද දවන පැණයකට
අවසරයි ස්වාමිණි
පහදවා දෙනු මැනව
හෙලා කරුණා දෙනෙත.............

සුපිපි සුවදැති කුසුම් පුදදී
කරන පිං පල නැති ද සමිදුණි
විදුලි මල්දම් පුදා කරනා
ආලෝක පූජාවන් තරම්..............

Thursday, May 13, 2010

විසුරුවා හැරී සුළුතර හැඟුම් සමුදාය


නුඹෙන් ලද සෙනෙහසේ
පරමාධිපති බලයෙන් උද්දාමව
මා හද විජිතයේ පාලන බලතල
ප්‍රේමණීය වූත්, අතිරමණීය වූත්
හැඟුම් සමුදායක් වෙත
පැවරූවෙමි....................

නෙත් කැල්මේ අමන්දානන්දයෙන්......
මන්දස්මිතයේ මනහාරත්වයෙන්............
ප්‍රේමාන්විත බැල්මේ අනුහසින්...........

ඔදවැඩුනු සිත
අතිබහුතරයක් වූ සොදුරු හැඟුම්
සම්භාරයට ඉඩ දී
නුඹ වෙතම පිදූවෙමි
හද පත්ල කැකෑරූ
උනුසුම් සෙනෙහෙ පොද..............

නොපැතූ මොහොතක
රුදු ත්‍රස්ත පහරින් ගෙලසිදී
මියඇදුණු විශ්වාසනීයත්වයෙන්..........

ගුවන් තල අරා නැගුණ දිවි බරම
උරදැරීමෙන් පුපුරු ලද
වේදනාවෙන්...........

නෙත පුරා මවාළු
සිහිනයක සිත්තම් ව
ඵලවරා බොඳව ගිය නේක ප්‍රාර්ථනාවෙන්.........

සියුම් ලෙස සැඟවෙලා
නිදා උන් කුරිරු සිත
එක්වරම අවදි වී
නැගි රුදුරු ගිගුරුමෙන්..............

ඔද්දල්ව ගිය පැතුම් අබියස
සුළු තරව රැඳුණු පෙම් සිතුම්
වර්ජනයට සැරසුන සඳ.......

සිදී ගිය හද මඩළ
ඉකිබිඳ හඩද්දී ම
විසුරුවා හැරිමි මම
ඔබ කෙරෙහි බැඳි
ප්‍රේමණීය සිත................

Saturday, May 8, 2010

......නුදුටු පෙම........


නුඹේ ලොව අඳුරු වූ එක් අමාවක රැයක
මං මුලා වුනු නුඹට පාර කිව් තරු කිරණ
පුරා හද නැගුන දා නුඹේ තනි නොතනියට
සිටි අයුරු නුඹ නොවේ දන්නේ තරුවම පමණ........

සැඩ වු හිරු රශ්මියෙන් ලොව දවන නිමේෂෙක
නුඹේ සරතැස නිවා සැතැප වූ දිය කඳුළ
වස්සානයේ ද නුඹ නෙතේ තුටු කඳුළක් ව
උන්නු බව දන්නේ නුඹ නොවේ කඳුළම පමණ.....

සෝකයෙන් මුසපත් ව නුඹ තැවෙන මොහොතක ම
හදේ දුක සැඟවුවෙමි සුසුමක් ව රහසේම
නුඹේ හද අද්දරින් කිසිදාක නොසැලීම
සිටී බව දන්නේ නුඹ නොවේ සුසුමම පමණ.......

යව්වනේ සිහින මැද හුදකලා වූ නුඹට
පැතුම් මල් තිළින දී පුබුදු කල අරුණැල්ල
නුඹ වෙතට සෙනෙහෙ බැඳ අඳුර තුල සැඟවුනද
සෙනෙහෙ සිත නුඹ ලඟම බව දන්නේ හද පමණ.............

Thursday, May 6, 2010

තරවටුව


නෙත් කෙවෙනි පුරා
මුතු කඳුලු කැට් මෝදු වෙද්දී
නෙතු මානයේ ඇදී නොපෙනී ගිය
මන බැඳුනු නුඹ රූ සිරි
නෙත් ඉමේ
මවා ගන්නට තැත් දැරීමි..............

හද පවුරු මස්තකේ
නොමැකෙන විලසින් සටහන් වූ
නුඹ දෙනෙත් යුග මෘදු ලෙසින්
මහද තත් සසලමින් වැයූ
කුරුටු ගීතය
ගයන්නට තැත් දැරීමී...............

නිමේශයකින් විසිරී ගිය
අතීතයේ බැඳි සුමිහිරි මතක බිඳ
යළිඳු ආවර්ජනයට සැරසෙන සඳ

හද වතින් නැගෙන අඳෝනා මධ්‍යයේ ම
නිද්‍රා ගතවූ මතකය අවදි නොකරන මෙන්
මහදින් මහද ට
තරවටු කිරීමට තැත් දැරීමි.................

Wednesday, May 5, 2010

පිය සෙනෙහසේ අරුම නුදුටු සද


පතකට සිඟාවිත් ඉවතට ලන පිළුණූ
අහරින් සතපවයි කුස ගින්නෙන් පෙළුණූ
මග ගාටමින් අත පා කදුළින් පිරුණූ
දෙනෙතින් යදින්නේ ජීවිතයද බිඳුනූ

වැහැරුනු දුබල කය සැරයැටියට බරද
වැසි පිණිපොදට අගුපිල්කඩ ඉඩ මදිද
කඩමළු රෙදි කඩ ට රෑ සීතල නැතිද
බිය වීපලා යන්නේ සුව දී නින්ද

නිවතුන් ඉකිබ්ඳින දුක් බර වීදී කොනේ
පණ නළ යදින නුඹෙ හද ගිණි දුටුව දිනේ
හැඳිනෙමි පියෙක් වග නුඹ මේදියත අනේ
පිළිසරණක් නැතිව මග තොට යදින සෙනේ

Saturday, May 1, 2010

ගමන් මග කටුක වූවද..... යා යුතුය කෙම්බිම වෙත.....


හමු නොවී වන දුර්ග හෙල් පවුරු කටු පඳුරු
ගලා යන විටදි නම් සුන්දරයි ජීවිතය
මල් පියලි විසුරුවා දෙපා පිළිගනු රිසින්
අතුල පාවඩ මතින් යා නොහැක බොහොඅ දුර.....................

හිස නගා කටු පඳුරු දෙපා නහවයි රුහිරු
පුලුස්සා දවාලයි ගත රශ්මියෙන් රුදුරු
අවුරවා මග රුපුන් කරනු රිසියෙන් ගොදුරු
රැක හිදී ජීවිතේ දුර්ග ගමනේ මහරු..............

තිර වු අදිටනෙන් යුත් දහිරියෙන් පිරිපුන්ව
ඔද වැඩී නගන පා පියවරය බලවත්ය
නොසැලි දිවි මගේ ජය ටැඹ කරා නොපැකිලිව
වඩින විරුවනට දෙවියන් පවා නගයි ගොස.......................

Friday, April 16, 2010

නැවුම් වස සුපිපි පැතුම


නව වසරේ නෑඹුල් දිණකර
පෙරඹර රිදී රැසින් සරසන සඳ..........
දහසක් පැතුම් පොදි නෑඹුල් වසරක ට
කරපින්නා ගෙන පෙරමග බලන කල............

සියුම් සතුටකින් හද කිතිකැවුනා සෙමෙන්
ඒ ඇයිද?.........
අවුරුදු මිහිර මා සිත සැබවින්ම මත් කල බැවින්ද.......
සැබෑවටම නොවැටහේ මට..........

කොවුළිඳු ගයන ප්‍රර්ථනා ගීතයට
වදන් අමුනන හෝරාවේ.............
අනාගත ගමන් මග පසක් කර දෙන්නට මෙන්
ඉඟිමරා සිනාසෙන එරබදු ළඳුන් ගෙන්
අසන්නට සිතට නැගුනා පැණයක් මෙලෙසින්.........

උදාවෙන දොළොස් මහේවත් නිවේවිද
මනුසතුන් අමනයන් කරවන
කෙළෙස් ගිණිදැල්.......................


ලක්වැසි ඔබ සැමට ලැබුවා වූ නව වසර සතුට පිරි ඉසුරුමත් නව වසරක් වේවා!!!!!!!!!!!!!!

Monday, April 5, 2010

නික්මීම


වරදක්ම නම් ආදරය මේ
නික්මිලා යන්නම් ඔබ වෙතින්
සරදමක් නම් ජීවිතය මේ
සමු අරන් යන්නම් ලෝකයෙන්.........

සිත සිතන්නේ ඔබ ගැනම නම්
නෙතෙ පතන්නේ ඔබ රුවම නම්
හදේ පිළිසිඳි පළමු පිවිතුරු
සෙනෙහෙ ගී දම ඔබම නම්
කොයි ලෙසින් කටු ගා දමන්නද
අසම්මත පෙම් කවක් නම්..............

දොරේ ගලනා කඳුළු නදියට
නුඹේ රුව නොමැකේවි නම්
හදේ සැලෙනා සුසුම් පවනට
නුඹේ රුව නොසැලේවි නම්
නුඹේ ලෝකෙන් පලා යන ලෙස
නුඹේ නෙතු ඉගි කරයි නම්
පලා යමි මම පලා යමි මම
ලොවින් නික් මී සදාකල්.........

Sunday, March 21, 2010

සැඟව ගිය තරු පහන


සිසිල් සඳ පහන් සිළ නොදැල් වුවද රැයේ
හැමදාම තරු ඇසක් දිලිසුනා නුඹ කුසේ
හුදකලා හදවතක් ඉකිබිඳින යාමයේ
සඳ නොවේ තරු කිරණ පමණි හද සැනසුවේ........................

සුවඳ වත් පවන් රැළි හොර හොරෙන් පැමිණිලා
වෙලී කොඳුරයි රහස් දෙසවනට ලංවෙලා
නොපීදුව සිහිනයක සුවඳ හදවත තලා
පිපුණු කඳුලැලි දැකම තරු එලිය මැලවුනා.........................

තනිකමට මුළුගැහුනු හදවතම ගොළුවෙලා
පැතුම් සිතුවිළි දෑළ උඩුහුළඟේ ඉගිලිලා
කවුළු පියපත තුළින් හදට සිසිළක් සලා
දිළි දිළී තනි රැක්ක තරු තිතත් සැඟවෙලා...................