Sunday, June 20, 2010

පුෂ්පෝපහාරය


ගම් මැද්දේ ඇවිද ගොස්
පුරවා හද බැතියෙන්
නෙලූයෙමි කූඩ පුරවා
සුදෝ සුදු මල්............

දොවා හද බැති දියෙන්
ගෙතූයෙමි මල් දම්...
පන්සලේ පිංකම් දිනේ
බුදු කුටිය සරසනු රිසින්........

නේක රටාවට ගෙතු මල් දම්
මල් වියන් කොට බුදු පියානණි
මලක් සේ පිරිසිදු සිතින් මම
පුදන්නට මග බලා සිටියෙමි.........

නිවී දැල්වෙන තාරුකා මෙන්
විසිතුරු විදුලි මල්දම්
ඒකාලෝක කරවයි
බුදු කුටිය මනරම්..........

පුදසුන මත පවා
දැල්වේ රක්ත පියුමන්
සුවදවත් නොවූවද
මුකුලිත නොවන කිසිදා..............

වියනක්ව වැජඹෙන්න
කුටිය තුල ඉඩ නොලත්
මා ගෙතූ මල්දම්
පිං මදව ඉකිලයි............

හද දවන පැණයකට
අවසරයි ස්වාමිණි
පහදවා දෙනු මැනව
හෙලා කරුණා දෙනෙත.............

සුපිපි සුවදැති කුසුම් පුදදී
කරන පිං පල නැති ද සමිදුණි
විදුලි මල්දම් පුදා කරනා
ආලෝක පූජාවන් තරම්..............

1 comment:

  1. හැමදේම සල්ලි වලට බොරු සෝබනේට යට වුනු ලෝකේ හදවතින් විතරක් පිං කරන්න පුරුදු වෙන එක තමයි මම හිතන්නේ හොඳම දේ . ..

    ReplyDelete