Thursday, May 13, 2010

විසුරුවා හැරී සුළුතර හැඟුම් සමුදාය


නුඹෙන් ලද සෙනෙහසේ
පරමාධිපති බලයෙන් උද්දාමව
මා හද විජිතයේ පාලන බලතල
ප්‍රේමණීය වූත්, අතිරමණීය වූත්
හැඟුම් සමුදායක් වෙත
පැවරූවෙමි....................

නෙත් කැල්මේ අමන්දානන්දයෙන්......
මන්දස්මිතයේ මනහාරත්වයෙන්............
ප්‍රේමාන්විත බැල්මේ අනුහසින්...........

ඔදවැඩුනු සිත
අතිබහුතරයක් වූ සොදුරු හැඟුම්
සම්භාරයට ඉඩ දී
නුඹ වෙතම පිදූවෙමි
හද පත්ල කැකෑරූ
උනුසුම් සෙනෙහෙ පොද..............

නොපැතූ මොහොතක
රුදු ත්‍රස්ත පහරින් ගෙලසිදී
මියඇදුණු විශ්වාසනීයත්වයෙන්..........

ගුවන් තල අරා නැගුණ දිවි බරම
උරදැරීමෙන් පුපුරු ලද
වේදනාවෙන්...........

නෙත පුරා මවාළු
සිහිනයක සිත්තම් ව
ඵලවරා බොඳව ගිය නේක ප්‍රාර්ථනාවෙන්.........

සියුම් ලෙස සැඟවෙලා
නිදා උන් කුරිරු සිත
එක්වරම අවදි වී
නැගි රුදුරු ගිගුරුමෙන්..............

ඔද්දල්ව ගිය පැතුම් අබියස
සුළු තරව රැඳුණු පෙම් සිතුම්
වර්ජනයට සැරසුන සඳ.......

සිදී ගිය හද මඩළ
ඉකිබිඳ හඩද්දී ම
විසුරුවා හැරිමි මම
ඔබ කෙරෙහි බැඳි
ප්‍රේමණීය සිත................

No comments:

Post a Comment