පාසල් ඇරී නිවසට එන දරුවා යහලුවන්ගේ නිවෙස් වල, ක්‍රීඩා පිටිවල, පාරතොටේ, කරක්ගසමින් සිටීම දෙමාපියන්ට එක්තරා හිසරදයකි. මෙම හිසරදයට පිලියමක් ලෙස නූතන දෙමාපියන් දරුවන් වෙත දායාද කරන්නේ අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකථනයක් හෝ පරිගණක යන්ත්‍රයකි.
තාක්ෂණික යුග පෙරළියක තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් සමග බද්ධව ඇති සමාජයක ජීවත් වන අප හට අධ්‍යාපනයේ දී, වෘත්තීය ජීවිතයේ දී මෙන්ම එදිනෙදා ජීවිතයේ දී ද අන්තර්ජාලය ලබාදෙනුයේ අපිරිමිත පිටිවහලකි.
නමුත් අවාසනාව වනුයේ බුද්ධිමත්ව අන්තර්ජාලය හැසිරවීමට නොදත් දරුවා ලොව නන් දෙසින් ගලා එන්නා වූ හොද හා නරක රැගත් තොරතුරු ලෝකයක අතරමං වීමය. අන්තර්ජාලය ඔස්සේ විවිධ සමාජ වෙබ් අඩවි තුල සැරිසරන දරුවා නොදැනුවත්වම තම වයසට නොගැලපෙන පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් සමාජ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්වන්නේ chat room services, skype, viber, whatsapp ආදී වූ අන්තර්ජාල සන්නිවේදන මාධ්‍යයන් හරහාය.
සමාජ ජාල වෙබ් අඩවි හරහ හමුවූ තරුණ දූ පුතුන් ස්වකීය ජීවිතය අදුරේ හෙලා ගනිමින් වටිනා මිනිස් ජීවිත අකාල්යේ අහිමි කර ගත් අවස්ථා අපි අසා ඇත්තෙමු. අන්තර්ජාල ක්‍රීඩා, චැට් පිටු, මෙන්ම නොයෙක් සභ්‍ය අසභ්‍ය තොරතුරු රැගත් වෙබ් පිටු අතර සැරිසරන දරුවා නිකරුනේ කා දමන්නේ අධ්‍යාපනය ලැබීමට ඇති ජීවිතයේ රන් හා සමාන කාලසීමවක් නොවේද?
නූතන සමාජය තුල මෙසේ අන්තර්ජාලයේ නොමනා ක්‍රියාකාරකම් තුල ඇබ්බැහිවූ දරුවන් පාසල් පද්ධතිය තුල ද හදුනාගත හැකිය.
- පෙරපැවති ක්‍රියාශීලීත්වය ගිලිහී යාම,
- අධ්‍යාපනයේ දී පසුගාමී බවක් පෙන්වීම.
- ශාරිරික දුර්වලතා හදුනාගත හැකිවීම. (අක්ෂි හා ශ්‍රවන දුර්වලතා, අතපය, බෙල්ල, කොන්ද ආදියේ වන වේදනා)
- සමාජශීලී නොවීම,
- පුද්ගල අන්තර් සබ්දතාවන්ගෙන් ඇත්වී සිටීම,
- ශරීරයේ ස්ථූලතාව වැඩිවීම,
- නිර්මාණශීලීත්වය ගිලිහී යාම
- කලාත්මක රසවින්දනයක් නොමැති වීම
- මතක ශක්තිය හීනවී යාම මෙම දරුවන් හදුනාගැනීමට ඇති රෝගී ලක්ෂණ ලෙස දැක්විය හැකිය.
සමාජ සම්මතයන්ගෙන් බැහැර වන මෙවන් දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදු, යහපත් ගුණධර්ම, යහපත් පෞරුෂයන් ගිලිහී යාම නිසා අනාගතයේ දී සමාජ ගත වන්නේ කායික, මානසික හා සමාජයීය වශයෙන් පිරිහුණු පුද්ගලයෙකු ලෙසින් ය.