Monday, June 28, 2010

අයැදුම


හමායන මදනලේ මගෙ සුසුම් ගෙන යන්න
ඇදවැටෙන සිරිපොදට මගෙ කදුළු මුහුවන්න
හදේ දුක කවක් වී වළා මත ලියැවෙන්න
ඒ කවිය සියොතුනේ ගීතවත් කරවන්න...............

සුසුම් රළ නුඹ යන්න මද පවනෙ මුසුවෙලා
ඔහු වෙතට පාව ගොස් සවන් මත දැවටිලා
මගෙ හද සෙනෙහෙ කුටියේ සුවඳ තවරලා
පෙම් සිතක දුක් ගීය පවසන්න කොඳුරලා....................

සිරි සරින් කදුළු පිණි පොද වැස්ස වස්සවා
නහවන්න ඔහු ගතම සිසිළසින් සතපවා
හිත ගාව මතකයේ උණුහුමින් සනසවා
ඔහු හිතම ගෙන එන්න මගෙ හසරැල් මවා............

වළාවනි ඉතින් නුඹ ඔහු වෙතට පාවෙන්න
සියොතුනේ ගී සරින් හද රාව නංවන්න
ඔහු හදේ මතකයේ කවුළු දොර හැර දෙන්න
හද විමන රාජිණිය ලෙසින් මට පිවිසෙන්න.............

Saturday, June 26, 2010

දොරගුළු ලෑම


නුඹ මා හදවතට

පිවිසෙතැයි බියපත්ව

අගුළු ලෑවෙමි

හනි හනික

හදෙහි දොරගුළු

සොඳින්..............

නමුදු

අකීකරු වූ නුඹ

යතුරු සිදුරෙන් රිංගා විත්

පැළපදියම් ව ඇත

සිත් කුහරයේ

ගැඹුරුම ඉසව්වක

නැවත නොයෙනා ලෙසින්.................



Monday, June 21, 2010

ප්‍රාර්ථනාවක්..........


පා පහසින් විසිර යන
වැලි කැටයක් නොවී මා
නිල් ගගන අරා නැගි විසල් ගිරි ශිඛරයක් වී නම්............
සිසිල් සුව ලෙහි හොවා හමනා
මන්ඳ මාරුතය වූ නුඹ
වැළද ගන්නෙමි හද සෙනේහයෙන්
යළි ඈත් නොවන ලෙස..........

ඝණ අඳුරු නිශායම
රජ කරන ගණඳුරට
කණමැඳිරී එළි තිතක් නොවී මා...............
අහස් කුස සුදිලෙනා
සොළොස් කළ සපිරි පුර පස සදක් වී නම්.........
අඳුර මැද මුලා වී
පා නගන නුඹෙ දෙපා
සඳ දියෙන් දෝවලා
ගමන් මග කියා දි
සෙනෙහසින් රකින්නෙමි..............

උදා හිරු නැගෙන සඳ
තණ අගින් සිඳී යන
පිණිපොදක් නොවී මා.........
නිම් තෙරක් නොදක්නා
දළ රළින් ගිගුම් දෙන
නීල සමුදුරු ගැඹර වී නම්..........
නිමල ගංදියවරක් විලසින්
මා වෙතට සපැමිනෙන කල නුඹ
මුවදොර අබියස දෙනයන දල්වා
බලා හිදින්නෙමි සිඹ සනසන්නට................



Sunday, June 20, 2010

පුෂ්පෝපහාරය


ගම් මැද්දේ ඇවිද ගොස්
පුරවා හද බැතියෙන්
නෙලූයෙමි කූඩ පුරවා
සුදෝ සුදු මල්............

දොවා හද බැති දියෙන්
ගෙතූයෙමි මල් දම්...
පන්සලේ පිංකම් දිනේ
බුදු කුටිය සරසනු රිසින්........

නේක රටාවට ගෙතු මල් දම්
මල් වියන් කොට බුදු පියානණි
මලක් සේ පිරිසිදු සිතින් මම
පුදන්නට මග බලා සිටියෙමි.........

නිවී දැල්වෙන තාරුකා මෙන්
විසිතුරු විදුලි මල්දම්
ඒකාලෝක කරවයි
බුදු කුටිය මනරම්..........

පුදසුන මත පවා
දැල්වේ රක්ත පියුමන්
සුවදවත් නොවූවද
මුකුලිත නොවන කිසිදා..............

වියනක්ව වැජඹෙන්න
කුටිය තුල ඉඩ නොලත්
මා ගෙතූ මල්දම්
පිං මදව ඉකිලයි............

හද දවන පැණයකට
අවසරයි ස්වාමිණි
පහදවා දෙනු මැනව
හෙලා කරුණා දෙනෙත.............

සුපිපි සුවදැති කුසුම් පුදදී
කරන පිං පල නැති ද සමිදුණි
විදුලි මල්දම් පුදා කරනා
ආලෝක පූජාවන් තරම්..............